Tuesday, February 4, 2014

කෙලි සෙල්ලම්

"මේ අවස්ථාවේදී පන්දුවට වැරෙන්  පහරක් එල්ල කරනවා.."

ක්‍රිකට් ගහන්න කව්රුත් නැති දවස් වල බොලේ දාගන්නේ බිත්තියට කියල.. මන්ම දාන බොලේ ආයි එනකොට තමයි ගහන්නේ.. ඔය ගමන් ඉතින් මගේම විස්තර විචාරයකුත් යනවා..

 "ස්ලාන් බ්ලාන් ස්ලාන්.."

ගහපු පාර ගියේ ගෙදර ඉස්සරහ ජනේලේ වීදුරුවත්  කඩාගෙන.. මට බැට් එකත් අත ඇරුනේ කෙල ගුලියකුත් ගිලෙන ගමන්.. තාත්ත වැඩ ඇරිලා එන්න තව පැයයි තියෙන්නේ.. දුවල ගිහින් ගෝනියක් අරන් ඇවිත් වැටිච්ච කටු ටික අස්  කරන්න ගත්ත..

"බින්ද නේද ජනේලේ.. තාත්ත ආවම බේරාගන්නවා දැන් ඉතින්.."

කෙල වෙලා ඉන්න වෙලාවට අම්මත් එනවා තව බය කරන්න..

බිඳුණු කෑලි ටික අස් කරලා පූසා වගේ ඇඳටම වෙලා හිටිය තාත්ත එනකන්.. වෙනද ගේට්ටුව අරින සද්දේ ඇහුන ගමන් පෙරලගෙන දුවන්නේ තාත්ත කන්න අරන් එන ටික අර ගන්න.. කොහොමත් අද කන්න වෙන නිසා ඇඳටම වෙලා හිටියේ නිදි වගේ.. කාමරේ ඉන්න ගමන් සාලේ දිහාවට කන දාගෙන හිටියේ කොයි වෙලේ වැඩේ පත්තු වෙයිද කියල..

පැයක්  දෙකක් ගියත් කිසි වෙනසක් නෑ.. සමහරවිට කරුවල නිසා දැක්කේ නැද්ද දන්නෙත් නෑ.. කොහොම උනත් රෑ ජනෙල් වහන්න යද්දී නම් කොහොමත් දකිනවා.. ඇඳේ එහෙමම නින්ද ගිය මට ඇහැරුනේ පහුවද උදේ.. එකත් හොඳට ගියා.. තාත්තගේ අමුත්තකුත් නෑ වගේ.. නොදැක ඉන්නත් හේතුවකුත් නෑ..

කොහොම හරි වීදුරුව බිඳුණු එක ගැන කිසිම කතාවක් කරේ නෑ.. මට ඔක්කොටම වඩා එක තමයි ප්‍රශ්නේ.. දෙකක් දුන්න නම් වැඩේ එතනින් ඉවරයි.. දැන් මට බැට් එක දිහා බලන්නත් බෑ..

කිසිම දඬුවමක් නොදීම හොඳම දඬුවම කියල තේරුනේ ටික දවසක් යද්දී..

එක දවසක් නම් මොකක් හරි කරපු මගෝඩි වැඩකට පශ්චාත් භාගය හරහා එල්ලුන තාත්තගේ පා පහර මට තාමත් මතකයි.. කරපු වැරැද්ද මොකද්ද කියල නම් මතකයක් නෑ..

පුංචි කාලේ ඉස්කොලේ ගිහින් ගෙදර ආවම අත්තම්ම එක්ක පාඩම් කරන එක මට නම් එපා වෙච්ච දෙයක්.. කොච්චර පාඩම් කරත් අත්තම්මට මදිනේ.. කොහොම උනත් හවස සෙල්ලම් කරන්න යන්න ඕනේ දවසට පේන්නත් එක්ක පොඩ්ඩක් වැඩියෙනුත් එක්ක වැඩ කරනවා.. නැත්තම් උන්දැගෙන් අවසරේ ගන්න වෙන්නේ නෑ..

සමහර දවස් වල ඒ අවසරේ ලැබෙන්නෙත් නෑ.. එහෙම උනාම ඉතින් තාත්ත ගාවට ගිහින් පොඩ්ඩක් අඬල සෙල්ලම් කරන්න යන්නද කියල අහල හා කිව්වම අත්තම්මට කොචොක් පාරකුත් දාගෙනම තමා සෙල්ලමට යන්නේ..

එහෙම දවසට ඉතින් අම්ම ආපු ගමන් කියනව කේලම.. ගොඩක් දවසට ඉතින් අම්මත් අපිව බේරනවා පොඩි උන් ඔහොම තමයි කියල..

අහල පහල හිටපු යාලුවෝ තුන් හතර දෙනක් එක්ක නොකරපු සෙල්ලමක් නෑ.. ක්‍රිකට්, අයි ස්පයි, අල්ලන් සෙල්ලම්, බයික් පැදිලි වගේම මීටර් 100, මැරතන් එහෙමත් දිව්වා..

තවත් දවසක තුවක්කු ටිකක් අරන් කැලේ පැන්නෙ යුද්ද සෙල්ලම් කරන්න.. හති වැටෙනකන් සෙල්ලම් කරලා ගෙදරට එන්නේ ජරා ජීර්ණ වෙච්ච ශරීරයකුයි අලුතින් පීදුණු මනසකුයි එක්ක..

අපේ ළමා කාලේ ගෙවිලා යද්දී අපි සෙල්ලම් කරපු කැලෑ, පාරවල් බාර ගන්න කව්රුත් හිටියේ නෑ.. හිටියත් එහෙම එකමුතුවක් ඕනෙකමක් තිබ්බෙත් නෑ..

එලියට පහලට බැහැල සෙල්ලමක් කරපු අන්තිම පරපුර අපිද මන්ද.. වෙලාවකට අපිත් දැන් වෙනස් වෙලාද කියල හිතෙනවා.. ඉඩක් ලැබුණු වෙලාවක මොනවා හරි කරලා ජීවිතේට වෙනසක් ගන්නේ ඒ වෙනස ජීවිතේට ඕනේ නිසා.. කොහොම හරි හිතල පොස්ට් එකක් දැම්මේ නිදහස් දවසෙත් නිදහසක් නෑ කියල කියන්න බැරි හන්ද..