Saturday, May 25, 2013

වෙසක් කූඩුව



අයියේ.. සව් කොළ මදිලූ.. තව ටිකක් අරන් එන්නලූ..

වෙසක් එකට හදපු කූඩු තුන අලවන්න ගෙනාපු කොළ මදිවෙලා මල්ලි කෑගහනවා ඇහුනා.. 
හවස් වෙන්න කලින් එල්ලන්නත් ඕන නිසා පයින්ම ගිය හන්දියට..
පෝය දවස නිසා එතරම් සෙනගක් නැති වුනත් හන්දියේ තොරණෙ හා දන්සලේ වැඩ කටයුතු කඩි මුඩියේ කෙරුනා.. 

තාවකාලිකව අටවා ගත්  වෙසක් බඩු කඩේට ගොඩ උනේ ආපු කාරිය කරගන්න.. 

අනේ තාත්තේ අර කූඩුවත් ගමුකෝ...

පුංචි එකියක් අම්මා, තාත්තා එක්ක කූඩු ගන්න ඇවිත්. කඩේ පුරාවට වෛවාරණ කුඩු එල්ලලා තිබුන..
සව් කොළ තෝරමින් හිටියත් හිත තවමත් පොඩි එකී ළඟ.. 
කූඩුවකින්, බකට් කීපයකින්, බලුබ් වැලකින් නොනැවතුන ඈ තවත් කූඩුවකට පොර බැදු හැටි..

අනේ තාත්තේ එක කූඩුවක් මදියිනේ..

පොඩි එකීව ලඟට අරගෙන කූඩුවක්  හදල දෙන්නත් හිතුන ඒ ඇඩිල්ලට..
හැමෝම කාර්ය බහුල වෙලා.. අඟහිඟකම් වැඩි වෙලා.. ඒ තාත්තට තව කුඩුවකට වියදම් කරන්න සල්ලි නැද්ද දන්නේ නෑනේ..ඔය කූඩුවට වියදම් කරන මුදලින් ගෙදරදී කුඩු දහයක් හදන්න පුළුවන්.. 

අපේ ගෙදර තාමත් අපිම කූඩුවක් හදල අලවල එල්ලන්නේ කඩෙන් අරන් ඇවිත් එල්ලන පහසුවට ලස්සනට වඩා වටිනා සතුටක් හිතට දැනෙන නිසා වෙන්න ඇති..
මගේ හිත අතීතයට දිව ගිහින්.. 
පුංචි කාලේ අම්මා අපට කුඩු හදන්න උගන්නපු හැටි..
අම්මට නම් ඒක කූඩු පාඩමක් නෙමේ.. ගණන් පාඩමක්..
සමචතුරස‍්‍ර, සමපාද ත්‍රිකෝණ, ඒවායේ ලක්ෂණ අපි ඉගෙන ගත්තේ පුංචි කාලේදී.. අම්මාගේ වෙසක් කූඩු  පාඩමෙන්..
කූඩුවක්  හදනවට වඩා ගොඩක් දේවල් ඒ තුලින් අපි ඉගෙන ගත්තා.. ගණිතයේ ජ්‍යාමිතිය එතරම් අපහසු නොවුනේ ඒ නිසා වෙන්න ඇති.. 

අම්මා  අපට සමතුලිතතාවය මුලින්ම ඉගැන්නුවේ මම සරුංගලය හදද්දී..
ප්‍රයෝගිකව ඉගෙන ගත් ඒ දේවල් තුලින් ගණිත විෂය  ඉගෙනීම පහසුවක් වුනා ..
අපෙන් නොනැවතුන අම්මා ගුරුවරියක් වශයෙන් මේ දේවල් පරම්පරා ගණනකට කියල දුන්නා..

අම්මා නැති අද දවසේ ඒ අඩුව යන්තමින් හරි පුරවන්න කොල්ලෝ කුරුට්ටෝ ටිකක් එකතු කරගෙන ඔවුන්ගේ දැනුමට යමක් එකතු කරන්නේ ඇගෙන් ලැබූ ඒ පන්නරය නිසාවෙනි.. 

වෙසක් කුඩුවක් එල්ලනවා කියන්නේ එක ආකාරයකින් බුදු තෙමගුළ සිහි කරමින් බුදු රජාණන් වහන්සේ උදෙසා කරන්න වූ ආලෝක පුජාවක්.. 
මේ නිසා ගෙදර හැමෝම එකතු වෙලා එක කුඩුවක් හරි හදන එක ගොඩක් වැදගත්..
කුඩුවෙන් එහාට ගිය ගොඩක් දේවල් ඒ තුලින් අපිට ගන්න පුළුවන්.. 

මහත්තයට මේ ටික විතරද ඕනේ.. 

මගේ සිතුවිලි දාමය බිඳ දමමින් කඩේ හිටපු කොල්ල ඇහුවේ මාව ඉක්මනට යව ගන්න වගේ..
ඇත්ත තමයි.. කඩේ ඉඳගෙන මේවා හිතනකොට ඒ මිනිස්සු වෙළඳාම කර ගන්නේ කොහොමද? 
අද දවස ඇතුලත පුළුවන් තරම්  විකුණා ගන්නත් එපැයි.. ආයි  මිනිස්සුන්ට කූඩු  මතක් වෙන්නේ තව අවරුද්දකින් නෙව..