Monday, July 22, 2013

අම්මා කියූ කවි..

සති ගානක් කපන්න හිටපු කොන්ඩෙ අදවත් කපාගන්න කියලා හන්දියට ගියාට මොකද එක සැලෝන් එකක්වත් නෑනේ.. අද ඇසළ පෝය නිසා වගේම උදේ වැටුණු මහා වැස්සට උන්දැලට එළියටවත් බහින්න හිතක් නැතුව ඇති..

හන්දිය  පුරා ඇවිදලා කොහොමහරි ඇරපු සැලෝන් එකක් හොයා ගත්තා..


සැලෝන් එකක් කිව්වට එකේ හැරෙන්නවත් ඉඩක් නෑ.. කොහේ ගියත් කපන්නේ කොන්ඩෙනේ කියල මාත් ගිහින් ඉඳ ගත්ත.. කොන්ඩෙ කපන මැෂින් එකයි, කතුරයි, පනාවයි, වතුර විදිනයි පැත්තකින් හඬ දුන්න වයර්ලස් එකක් ඇරුනම වැඩි දෙයක් එකේ තිබ්බේ නෑ..


කොහොම හරි කොන්ඩෙ කපන අතරතුර මම හිටියේ වයර්ලස් එකට කන ඔබාගෙන.. පෝය දවස නිසාද මන්ද බොහොම පැරණි ගීත කීපයක්ම විකාශණය වුණා.. ඔය අතරේ අරිසෙන් අහුබුදු ශුරීන් විසින් රචිත ආර්. මුත්තුසාමි සහ සුනිල් ශාන්තයන් සංගීතවත් කල ධර්මදාස වල්පොල ශුරින් විසින් ගායන කරන ලද "කටේ කිරි සුවඳ යන්නද පවා බැරි උනා.." ගීතය විකාශණය උනේ මගේ මතකය ඈතට ගෙන යමින්...


මම මේ කියන්න යන කාලේ අපේ මලයන්ඩි හිටියේ නෑ.. මමයි නංගියි තමයි රජ කරේ.. ඉතින් ඔය කාලේ රෑට නිදා ගත්තේ මමයි තාත්තයි එක කාමරේක.. නංගියි අම්මයි තව කාමරේක.. ඒත් තාත්ත නිදියන්න පහු වෙන නිසා අම්මයි නංගියි මගේ ඇඳට ඇවිත් මව නිදි කරවල තමයි එයාලගේ කාමරේට යන්නේ.. 


මේ තමයි මගේ දවසේ හොඳම කාලය.. නින්ද යනකන් කතාවක්, සින්දුවක්, කවියක් කීම අම්මාට අනිවාර්ය දෙයක්.. නැත්තන් මන් එහෙම නෙමේ නිදියන්නේ.. 


මනමේ, නරිබෑනා, සිංහබාහු කතා කිව්වේ ඒ නාට්‍ය වල ගීත එක්කම.. මට ඒවා අහලම කටපාඩම්.. ඔය අතරේ අම්ම ළඟ නිදියන්න මමයි නංගියි පොර කනවා.. 


නංගි පොඩි එකානේ කියල හැමදාම එයා අම්ම ගාව.. සමහර දවස් වල අම්ම නංගිව වැඩකට යවල මව ගන්නවා ලඟට.. එත් එයා ආපු ගමන් කොහොම හරි රිංගනවා මැදට.. 


අම්ම කියන්න ගන්නවා මෙහෙම කවියක්.. 


මුනි සිරිපා සිඹිමින්නේ...

සමනොල ගිර පෙදෙසින්නේ...
මඳ සුළඟයි මේ එන්නේ...
මගේ පුතා නැලවෙන්නේ...

ඕක අහපු ගමන් නංගි පටන් ගන්නවා කෙකර ගාන්න.. අම්ම අන්තිම පදේ "මගේ දුවා නැලවෙන්නේ..." කියල වෙනස් කරන්නේ නංගිව නලව ගන්න.. 


ඉතින් ඔය වගේ දවස් වල අම්ම නිතර කියපු මම ගොඩක් ආස කරපු ගීතයක් තමයි  "කටේ කිරි සුවඳ යන්නද පවා බැරි උනා.." ගීතය.. කොන්ඩෙ කපන අතරතුර මාව අතීතයට යැවුනේ ඔය විදියට... 


මෙන්න සම්පූර්ණ ගීතය.. 


කටේ කිරි සුවඳ යන්නද පවා බැරිවුණා 

යුධට උපන් කුමරිඳු යයි නමක් ඇති වුනා
මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හැරවුණා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුණා


නිතර නිතර සීතාවක රණබෙර නැඟුනා

කොළඹ කොටුවේ බළල් මසුත් ගිනි ගනන් වුනා
පරංගි දේසේ රජුටත් මර උණ ගැනුනා
රාජසිංහ දෙවි නාමේ ලොවේ රජ වුනා


රුසිරු පෙතන්ගොඩ උයනට අනේ ලං වුනා

නපුරු උණ කටුව පතුලේ ඇනී වන වුනා
එක්ව සිටි සැවොම මතුරා විසද වැඩි වුනා
රාජසිංහ දෙවි නාමේ ගියා නැති වුනා




කොන්ඩෙත් කපාගෙන යන ගමන් හිතුවේ කොහොම හරි මේක බ්ලොග් එකේ ලියන්න ඕනේ කියල..