Sunday, December 23, 2012

ඊළඟ පදය

අප නොදුටු ගණිතයේ සුන්දර තැන් බොහොමයි.. මම අද කියන්නේ ඒ වගේ පුංචි සුන්දර කතාවක්.. 
අපි පුංචි කාලේ ඉගෙන ගත්ත එක ගණිත පාඩමක් තමයි සංඛ්‍යා රටා කියන්නේ.. මේ තියෙන්නේ ඒ කාලේ අපිට දැකල හුරු පුරුදු ප්‍රශ්නයක්..
2, 4, 6, ___
මොකද්ද මේකට පිළිතුර? බොහොම පහසුවෙන් කියන්නේ පුළුවන් 8 කියලා.. එත් මම කිව්වොත් 10 කියල. ටිකක් විශ්වාස කරන්න අමාරුයි.. එත් පුදුමය කියන්නේ මේ සංඛ්‍යා රටාවේ ඊළඟ පදය 8, 10 පමණක් නෙමේ.. ඕනෙම සංඛ්‍යාවක් වෙන්න පුළුවන්.. 
සංඛ්‍යා ලැයිස්තුවක මුල් පද කුමන පරිමිත ප්‍රමාණයකින් වුවද සංඛ්‍යා ලැයිස්තුවේ ඊළඟ පදය අනන්‍යව නිර්ණය නොවන නිසා ඊළඟ පදය ඔබ කැමති ඕනෑම සංඛ්‍යාවක් වන පරිදි ලියන්න පුළුවන්.. 
ඉහත සංඛ්‍යා රටාවේ ඊළඟ පදය 10 වන පරිදි බහු පදයක් හොයන විදිය දැන් බලමු.
2, 4, 6, __  කියන සංඛ්‍යා රටාවේ ඊළඟ පදය 8 කියල අපිට නිගමනය කරන්න පුළුවන් වුනේ එම රටාව නිරූපණය කරන බහු පදය '2n' බව උපකල්පනය කරපු නිසා.. නමුත් වෙනත් f(x) නම් බහු පදයක මුල් පද තුන 2, 4, 6 විය නොහැකිද? එම බහු පදයේ සිව්වන පදය 8 නොව වෙනත් සංඛ්‍යාවක් විය හැකිද? ඇත්තෙන්ම ඔව්.. අපි පහත සඳහන් බහුපදය සලකා බලමු.. 
මෙහි n = 1 විට පළමු පදය,
මෙහි n = 2 විට දෙවන පදය,
මෙහි n = 3 විට තුන්වන පදය,
මෙහි n = 4 විට සිව්වන පදය,
දැන් ඔබට මුල් පද තුන 2, 4, 6 සහ සිව්වන පදය 10 වන බහුපදය ලැබී අවසන්.. මේ ආකාරයට වූ බහුපද විශාල ප්‍රමාණයක් ලියන්න පුළුවන්.. මේ ඉන් එකක්.. දැන් අපි බලමු මේ බහුපදය ඉතා පහසුවෙන් ගොඩ නගා ගන්නා එක් ආකාරයක්.. 
f(n) = 2n + g(n) බහුපදය සලකමු.. මෙහි මුල් පද තුන 2n  මගින් ලැබෙන නිසා n = 1,2,3 විට g(n) ශුන්‍ය අගයක් ගත යුතුයි.. එබැවින් (n-1)(n-2)(n-3),  g(n) හි සාධක විය යුතුයි.. 
එවිට f(n) = 2n + c(n-1)(n-2)(n-3) නම් වූ බහුපදයෙහි මුල් පද තුන 2, 4, 6 බව තේරුම් ගැනීම ඉතා පහසුයි.. මින් පසු ඔබට අවශ්‍ය ඊළඟ පදය ලබා ගැනීමට කල යුත්තේ ඊට අදාල c නියතය සොයා ගැනීම පමණි. එය f(n) සඳහා ඔබට අවශ්‍ය ඊළඟ පදයද, n  සඳහා 4 ආදේශයෙන්ද පහසුවෙන් සොයා ගත හැකියි.. සිව්වන පදය 10 වීම සඳහා අවශ්‍ය c  අගය 1/3 බව ඉහත ආදේශයෙන් සොයා ගත හැකියි..
දැන් අපි බහුපදය සොයා අවසන්..
තවදුරටත් සුළු කිරීමෙන් පළමුව භාවිතා කල බහුපදය ලබාගැනීමට පුළුවන්.. 
මේ අනුව බලන කල ඕනෑම පරිමිත සංඛ්‍යා රටාවක ඊළඟ පදය ඕනෑම සංඛ්‍යාවක් විය හැකි බවත් එම සංඛ්‍යා රටාව සපුරාලන බහුපද විශාල ප්‍රමාණයක් ඇති බවත් මේ මගින් පැහැදිලි වෙනවා..
ඉතින් පුංචි කාලේ දෙන මේ වගේ සංඛ්‍යා රටාවකට ලබා දෙන ඕනෑම පිළිතුරක් නිවැරදි බව මේ විදියට ගණිතයෙන් ඔප්පු කරන්නත් පුළුවන්.. 
අවසන් වශයෙන් මෙවැනි ගණිතයේ ඇති සුන්දර දෑ ඉතා සරල බසින් ග්‍රන්තාරූඩ කරමින් ගණිතයේ ලස්සන මා හට අවබෝධ කරගැනීමට ඉවහල්වූ ආචාර්ය ඩබ්ලිව්. රාමසිංහ ගුරු පියාණන්ට මගේ හද බැති ප්‍රණාමය පුද කරමි.. 
එතුමා විසින් රචිත කෘති කිහිපයක්:
  • බින්දුවේ සිට අනන්තය දක්වා බිඳක් 
  • සංඛ්‍යාවක් පරිමේය වීමේ සම්භාවිතාව
  • ඊළඟ පදය 
  • අනන්තය සමග හෝරා දෙකක් 

Sunday, November 11, 2012

මිතුරු කැලක් සෙට් වුවා එක් දිනයක හොස්ටලයට
ඇති විය ලොකු කතා බහක් මේ ගැන ඔවුනොවුන් අතර

ආයුබොවන් ඔබ හැම හට විරිඳු සුරල් අසන අයට
සිතුන මෙමට පද පඳින්න මිහිරි විරිඳු සුරල් යසට
සිව් වසරක් ගෙවී ගියත් සරසවියෙන් තවම අපට
ඩිග්රී ගන්න බැරි උනාලු ගුරුවරු කල වර්ජනයට

මිතුරු කැලක් සෙට් වුවා එක් දිනයක හොස්ටලයට
ඇති විය ලොකු කතා බහක් මේ ගැන ඔවුනොවුන් අතර
එක එක අදහස් පළකර තර්ක කරයි හරි හරියට
පසකට වී බලන් උන්න මැදිහත් විනිසුරුවෙකු ලෙස

සරසවි වල ඇඳුරුතුමන් තවත් විටක සේවකයින්
කෙරුවා වැඩ වර්ජනයන් ඉටු කොට දෙන ලෙස ඉල්ලුම්
රටේ ඉන්න මොළ කරුවන් ලෙස පැමිණුන සරසවියට
දේශන නැති ශාලා වල කල් ගෙව්වා නිකමුන් ලෙස

සියයට හය ගැන ලොකුවට කතා කලත් මුල්කර ගෙන
තම පඩි නඩි වැඩිවෙනකොට නිමා  උනා වැඩ වර්ජන
තුන් මසකට නොඅඩු කලක් සිටියේ කටවල් වහගෙන
සෙතක් වේය කියා රටේ නිදහස් අධ්‍යාපනයට

පනස්දාහේ හැත්තදාහේ අනුදාහේ ලොකු පඩියට
යන්න නෑනෙ ඩිග්රි නැතුව රස්සා ලැබුනත් අපහට
ඉගනුම නොමිලේ හින්දා එරෙහි වන්න බෑ අපහට
දෙන දවසට ඩිග්රි අරන් යන්න වෙන්නෙ සද්ද නොකර

මෙහෙම ගියොත් මේ විදියට එන ඊළඟ පරපුර හට
නිදහස් අධ්‍යාපනයක් නැති වෙනවා උරුම වන්න
සල්ලි දීල ඉගෙන ගන්න තැන් ඇරෙනවා කිටි කිටියට
දුප්පතාගේ ඉගෙන ගත්තු දරුවට වෙයි හූල්ලන්න

අපි මේවට හඬ නැගුවම දොස් නගනවා හැම දෙනාම
ඉගෙන ගන්න ගිහිපු එවුන් කඩේ යනවා එක එකාට
හැම කෙනාම හඬ නගන්නේ තම වාසිය ගැන බලලයි
හැම දෙනාගේ වෙනස් වෙන්න ඕන එකම දෙය ඕකයි

හැම දෙනාගේ අවධානය සරසවි සිව් වසර දෙසයි
දහ තුන් වසරක් උගන්නෙ ඉස්කෝලෙත් නොමිලේ තමයි
කරුණු ගොඩක් එකතු උනා සංවාදය නැගල ගියා
අවසන් නිගමනය ගන්න සියලු දෙනා වෙහස උනා

මිනිසුන්ගේ ගති පැවතුම් වෙනස් වන්න ඕන හැඩයි
සියලු දෙනා වැඩ කරන්නේ තමන්ගේ වාසිය හිතලයි
රටේ නැගෙන හැම ප්‍රශ්නෙට මුල බිජේ මේක හැඩයි
සහයෝගෙන් වැඩ කෙරුවොත් මේ සිරිලක ලොව බබලයි

Wednesday, July 25, 2012

සේයාවක ආරම්භය

කාලෙකින් මොනවා හරි ලියන්න කියල හිතුන. මේ ටිකේ campus වහල තිබ්බට මොකද projects දෙකක වැඩ නිසා විවේකයක් නම් නෑ. ඒ අස්සේ  part time job කුත් කරනවනේ. ලඟදි අතට සල්ලි ටිකකුත් ලැබුන නිසා (GSoC), camera එකක් ගන්න කියල හිතුව. කාලෙක ඉඳන් තිබ්බ ආසාවක් තමා ඒ. ඡායාරූපකරණයට  ආසාව තිබ්බට camera එකක් ගන්න වත්කමක් තිබ්බේ නෑනේ. හැබැයි මිට කලින් දවසක ඔය කියන camera එකක් අත පත ගාන්න හම්බුනා. අපේ training කාලේ කට්ටියත් එක්ක බස් එකකුත් සෙට් කරගෙන ගියා බඹරකන්ද දිය ඇල්ල බලන්න. අපේ කොල්ලෙක් හිටිය ප්‍රසාද් කියල. ඔය වගේ cam එකක් ඒ කාලේ තිබ්බේ මිනිහට විතරද මන්ද. කොහොම හරි ඒක දැකල මම ඉල්ලා ගත්ත camera ඒක ට්‍රිප් එක ගිහින් එනකන් තිබ්බේ මං ගාව. ඔබන කෑලි බෑලි ටික එහෙන් මෙහෙන් අහගෙන හැම තැනම රිංග රිංග ෆොටෝස් ගත්ත. ගත්ත ගොඩක් ඒවා ඉතින් සාර්ථක උනේ නෑ. කොහොම හරි ටිකක් හරි හොඳයි කියල හිතෙන ටිකක් අරගත්තා. බලලම ඉන්නකෝ..









ඒ අතරේ මගේ ෆොටෝ එකක් ගන්නත් අමතක කරේ නෑ.. 

මගේම කියල camera එකක් ගත්තම තවත් ලිපියක් ලියන්නම්කො.. 
මත්තෙන් නික්ම යන්නට 
පුදන්නම් හද බැති 
ප්‍රසාද් සොයුරට
සහ මිතුරු කැල වෙත
සිනහවෙන් මා දිරි ගැන්වුව...

Saturday, May 5, 2012

බුදු ගුණ ගීත



කාලෙකින් තමා බ්ලොග් ලිපියකින් හමුවෙන්නෙ. බොහොම කාර්ය බහුල කාලයක් තමයි මේ ටිකේ ගෙවන්නෙ. සරසවියේ අවසන් වසරනේ. මේ වසරේ වෙසක් මංගල්‍යය යෙදිලා තිබ්බේ අපේ exam අස්සෙනේ. වෙසක් කියන්නේ exam හින්ද අමතක කරන්න බැරි දෙයක් නිසා වෙසක් එකට ගෙදර ඇවිල්ල කුඩුවක් එහෙම හදන්න ගත්ත. ඕක හදන ගමන් එකතු කරගෙන තිබ්බ බුදු ගුණ ගීත ටිකක් අහන්න ගත්ත. දැන් කාලේ ඉතින් බුදු ගුණ ගීයක් ඇහෙන්න වෙසක් පෝයක්ම එන්නම එපැයි.  කොහොම හරි ගීත ටික අහන ගමන් මට හිතුන මේ ගීත ටික එක්තැන් කරලා හැමෝම එක්ක බෙදා ගන්න ඕන කියල. 
මෙන්න මෙතනින් පුළුවන් ඔයාලට ඒ ගීත ටික බා ගන්න. තවත් ගීත ටිකක් ඉදිරියේදී එකතු කරන්නම්. දන්නවනේ ලංකාවේ upload speed එක ගැන. :D
මග ඇරුණු තවත් ගීත හුඟක් ඇති. ඒ ගැන පුංචි සටහනක් තියන්නකො. ඉදිරියේදී ඒවත් එකතු කරන්නම්. 

ඔබ සැමට බැතිබර, පින්බර වෙසක් මංගල්‍යයක් වේවා......

Thursday, April 5, 2012

දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන 

 

ගීතය අහන්න අත්‍යාවශ්‍ය නෑ... අකමැතිනම් එය අමතක කරල කතාව විතරක් කියවන්න...

මේ ගීතය අසන විටදි පේරාදෙණිය සරසවියේ 2003-2004 අධ්‍යයන වර්ෂයේ සිසුන් ගොඩාක් සංවේදී වෙනව.... ගීතය නෙමෙයි... මම ඔයාලට මේ කියන සත්‍ය කතාව හොදින් කියවන්න..... එහෙනම් මෙන්න කතාව....

2003-2004 අධ්‍යන වර්ෂය ආරම්භ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එනව තරුණයෙක් පොල්ගහවෙල ඉදල... ඔයාලා දන්නව ඇතිනේ ලංකාවේ සරසවියක තිබෙන එකම දුම්රියපොල තියෙන්නෙ පේරාදෙණිය සරසවියෙ.... ඉතින් ඒ තරුණයට ඒක ගොඩාක් පහසුවක්......

පේරාදෙණිය විද්‍යාලයට පීඨයට පැමිණි මේ තරුණායාට සුපුරුදු පරිදි කාඩ් එකකුත් වැදුනා... කාඩ් එක තමා බොනපාට්...
මම මෙතනින් ඉදිරියට මේ තරුණයව හදුන්වන්නෙ බොනපාට් කියල... මොකද මුළු සරසවියම ඔහුව හදුනගත්තෙ බොනපාට් යන නමින්....(අදටත් 
බොනපාට් කියලා පේරාදෙණිය සරසවියෙ කාගෙන් හරි ඇහුවොත් ඔහුව දන්නවා එච්චරට ඔහු ප්‍රසිද්ධයි  )

ඉතින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ආපු මේ බොනපාට් සරලවම කියනවනම් පට්ටම සංවේදී... පට්ටම මීටරයක්... ඔහු පැමිණියේ භූගර්භ විද්‍යා උපාධිය හදාරන්න.... ඔය උපාධිය ලංකාවෙන්ම පවත්වන්නෙ පේරාදෙණිය සරසවියේ පමණයි... ඔවුන්ගෙනුත් විශේෂ භූගර්භ විද්‍යා උපාධිය සදහා තේරෙන්නෙ 10 දෙනෙක් පමණයි...
 අපේ මේ බොනපාට් ඒ 10දෙනා අතරට තේරුණාම කොහොමද මිනිහගෙ මීටරේ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ යාළුවනේ...... කෙටියෙන්ම කියනවනම් වසරකට භූගර්භ විද්‍යා විශේෂ උපාධිධාරීන් ලංකාවෙන්ම බිහිවෙන්නේ 10 දෙනයි..... (මේ භූගර්භ විද්‍යා විශේෂ උපාධිය තියෙන ඕනම කෙනෙකුට ඕනෑම රටකින් නොමිලේ රැකියා සහ වීසා දෙනව.... කොහොමද උපාධියෙ තත්වය යාළුවනේ)

පවුලේ එකම දරුවා වූ මේ බොනපාට්ට ආදරේ සෙනෙහස එතරම් අවශ්ශ්‍ය උනේ නෑ... මොකද දෙමාපියන්ගෙ මුළු ලෝකයම උනේ මේ බොනපාට්.. සරසවියට එනකල්ම ඔහුටත් ආදරයක් අවශ්‍ය උනේ නෑ... ඒ තරම් දෙමාපියන් ඔහුට ආදරය සෙනෙහස දුන්න... කොහොමින් හරි සරසවියේ තනිවුන, පොත් අතර කාළය ගෙවුණු මේ බොනපාට්ටත් තනිකම කාන්සිය නිසා සරසවි ආලය ටිකෙන් ටික දැනෙන්න පටන්ගත්ත.... 
ඔහු සම්බන්ධයක් ඇති කරගත්ත සරසවියේ තරුණියක් සමග... ඇයටත් කාඩ් එකක් තියෙනව... එය තමයි සොබනි. ඇයත් පොල්ගහවෙලමයි... ඔන්න ඉතින් අපේ මේ බොනපාට් සොබනිත් එක්ක ආදරය කරන්න පටන් ගත්ත....

යාළුවනේ හැඩි දැඩි සිරුරක් ,ලස්සනක් තිබුණ මේ බොනපාට් පුදුම මීටරයක්.... ඒ වගේ කෙනෙක් සරසවිය තුලදි නිරායාසයෙන්ම ජනප්‍රියයි... අනික යාළුවන්ට තියෙන ආදරයත් උපරිමයි. සරසවි බාශාවෙන් සිරා බොක්කෙ කොල්ලෙක් ඔහු.. කොහොමින් හරි මේ දෙන්න දැන් සරසවියෙ ඉන්නෙ එකට, එකම ගමේ නිසා ගමට යන්නෙ එකට , නැවත එන්නෙ එකට... ගෙවල් වලිනුත් කැමතියි දෙදෙනාටම.... 
ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ... මුළු සරසවියම දන්නව බොනපාට් තව වසර 2කින් 3කින් නවතින්නෙ ඇමරිකාවේ නැතිනම් යුරෝපයේ කියල.... ඒ නවතින්න යනවිට සොබනි ඔහුගේ බිරිද වෙයි කියලා අපි හැමෝමත් බොනපාට් සහෝදරයත් හිතුව. අනිත් සරසවි පෙම්වතුන් වගේම මොවුන් දෙදෙනත් ආදරෙන් වෙලෙමින් කාලය ගතකලා.....

මුදල් ප්‍රශ්ණයක් නැතිනම්, බොනපාට් පුදුම ලස්සනයිනම්, ඇමෙරිකාව පුරවැසිභාවය දීමට ආරාධනා කරන උපාධියක් තිබෙනවනම්, අනාගතේ පැහැදිලිනම්, සොබනිට ගෙදරිනුත් කැමතිනම්.... කොතරම් වාසනාවන්තයෙක්ද යාළුවනේ අපේ මේ බොනපාට්... අනික සොබනිත් වාසනාවන්තයි බොනපාට් ලැබුනට... සරසවියෙ හැමෝම හිතුවෙ එහෙමයි....

නමුත් සොබනි හිටි හැටියේම බොනපාට්ව අත ඇරියා.... හරිනම් බොනපාට් තමා සොබනිව අතාරින්න ඕන. සොබනි කියන්නෙ සාමාන්‍ය තරුණියක්. ඇය ලස්සනයි. නමුත් campus එකේ යාලුවෝ කියන  විදියට බොනපාට්ගෙ ලගදි ඇය නවදැලි හේනක පෑව වැදිරි රුවක් හා සමානයි.... ඒත් සොබනි බොනපාට්ව අතෑරියා... කොහොමද  මේවගේ දෙයක් වෙන්නෙ.. නමුත් එහෙම දෙයක් උනා... බොනපාට් තනිවුනා... ඇය ඔහු තනිකලා....

නමුත් මේ බොනපාට් මම කලින් කිවුව වගේ පුදුමාකාර චරිතයක්... ඔහු මේ සම්බන්ධය නවත්වපු බවක් සරසවියේ කිසිම කෙනෙකුට හැගෙවුවෙ නෑ... පෙන්නුවෙත් නෑ.... නමුත් සම්බන්ධය නවත්වලා.... බොනපාට් උත්සාහ කරන්න ඇති සොබනිව නැවත කැමති කරවගන්න. බොනපාට් උත්සාහ කරන්න ඇති නැවතත් සොබනි එක්ක සරසවි දුම්රිය ස්ථානයෙන් ගෙදර යන්න, ආයෙ එන්න... සරසවියෙ ඇවිදින්න... 
නමුත් ඇය ඔහු අතෑරලා.... ඔහු මේක සගවගෙන විවිධ හේතු දක්වමින් මගෑරියා.... ඔහු තනිවම විදවන්න පුළුවන් උපරිම දුක්වින්දා.... ලොකයෙන්ම දුකක් සගවගෙන දුක්වෙන එක හරිම අමාරුයි... ඒත් මේ කතාවේ අවාසානය වෙනකල් ඔහුගේ අතිජාත මිත්‍රයන්වත්... ඔහුගේ රූමවත් දන්නෙ නෑ... සොබනි ඔහුට බූට් එක තියල කියල... ඒ තරමටම මොහු සොබනිව ආරක්ෂා කලා....

ගෙදර හුරතලේකට හැදුනු බොනපාට්ට ආයේ මේ දුක දරාගන්න නම් ලේසිනම් නෑ ... ඔහු දුක විදින්න, විදවන්න තියෙන උපරිම විදියට උත්සාහ කලත් මේ දුක ඔහුට දරාගන්න බෑ..... ඔහු ගත්ත තීරණයක්..... අනාගත සුපිරි විද්‍යාඥයා විශ්ව විද්‍යාලයෙන් හොරෙන් ගත්ත රසායනික කැට ටිකක්.... 
ගියා හන්තානේ මාකස් නේවාසිකාගාරයට ඈතින් ෆයිනස් යායේ තිබෙන ගල් තලාවක් මතට.... අවසන් උත්සාහය දැරුව ඔහු ඇමතුමක් අරගෙන සොබනිට... වැඩක් නෑ... ඇය අසංවේදීයි.. ඇයට බොනපාට්ගේ හදවත දැනෙන්නෙ නෑ... ඔහු කරන්න යනදේ ගැන වැටහීමක්වත් සංවේදීතාවයක්වත් නෑ....

උනදේ කියාගන්නත් බෑ .... සරසවි සිසුන්ට බොනපාට්ව මුණ ගැහුනේ ඊට දින දෙකකට පසුව... ඩෙනිම් කලිසමත් නිල් ඉරි ටීෂර්ට් එකත් ඇදගෙන මුනිං අතට මැරිල ඉන්නව අපේ අනාගත භූගර්භ විද්‍යාඥයා ගල් තලාව මත....

ඔහු මිය ගිහින් තියෙන්නෙත් බොලද විදියට නෙමෙයි... ඔහුගේ මියයාම, ඔහුගේ දුක, වේදනාව ගැන විවිධ ඉගි කිරීම් සදහන් කරමින් ඔහු සටහනක් පොතක ලියල තිබුණ.... නමුත් ඔහුගේ බුද්ධියෙන් දෙන ඉගි තේරුම් ගැනීම ඉතා අපහසුයි... ඇයි ඔහු ඉගි විතරක් දුන්නෙ ... 
මිය යන්න හේතුව සරලවම කියන්න තිබුනනේ... ඇයි ඔහු එහෙම නොකිව්වෙ.... සොබනිට නොදැනුනාට ඔහු ඒ තරම් සොබනිට ආදරෙයි.... සොබනි නිසා මැරුණ කිවුවොතින් සොබනිට වෙනදේ ඔහු දන්නව.... ඉගිවලින් දුන් පණිවිඩය අපිට නොතේරුණාට සොබනිට හොදටම වැටහෙන්න ඇති.....

හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින


මට දැනෙන විදියට රජෙක් වගේ මුළු විශ්ව විවිද්‍යාලයපුරා ප්‍රචලිත වෙලා සිටි බොනපාට්, සොබනිලගට ගිහින් කියන්න ඇති.... එන්න අපි යමු කෝච්චියෙ ගමේ වෙනද වගේ කියල... කොතරම් නම් ඉල්ලීම් කරන්න ඇත්ද ඔහු සොබනි ලග වැද වැටිල....

මලක නැවුම් සුවඳ පිරුන සොදුරු මදනල
ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන
සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන


දුක දරාගෙන ඉදල ඉදල බැරිම තැන මැරෙන්න තීරණය කරපු අපේ මේ බොනපාට් අන්තිම මොහොතෙදිත් කෝල් එකක් අරගෙන තියෙන්නෙ සොබනිට.... මොනව කියන්න ඇත්ද..? අඩ අඩා ආදරේ ඉල්ලන්න ඇති නේද...? මගේ කදුලු බිදු වැටෙන්න නොදී එන්න සොබනි ආයෙත්... කියන්න ඇති නේද...?  මේ තරම් සියුමැළිද කළුගල් කියල සින්දු ලියපු රටේ දැන් කියන්න තියෙන්නෙ මේ තරම් රළු ඇයිද හදවත් කියල.... ‍

නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනූ කදුලට
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම

 හැබැයි මෙහෙදී මම එක දෙයක් සදහන් කරන්න ඕන... සොබනි දැන් හොදින් ජීවත් වෙනවාලු .. ඇය සාර්ථක පවුල් ජීවිතයක් ගෙවනවාලු ... ඒ නිසයි මෙහි සියළු නම් සදහන් කලේ නැත්තෙ... අනික මට මෙහිදී හිතට වැදුණු දෙයක් තියෙනවා.... ඒ තමයි ඔහුගේ හොදම යාළුවෙක්ගෙන් මේක අහපු වෙලාවේ  කියපු කතාවක්.... 

මේ යාළුව බොනපාට්ගේ මලගෙදරට සහභාගී වුනේ නෑ... ඇයි කියල ඇහුවම ඔහු දීපු පිළිතුරෙත් හිතන්න දෙයක් තියෙනවා... "අම්ම තාත්තගෙ එකම ලෝකය කෙල්ලෙක් නිසා බොනපාට් නැති කරගත්තෙ ඌ, ඌ ගැන වටිනාකමක් නැති නිසා.... ඉතින් ඌට ඌ වටින්නෙ නැත්නම්... එහෙම එකෙක් මට කෙහොමත් වටිනාකමක් නෑ. ඒ නිසා මම මලගෙදර ගියේ නෑ......
 "


උපුටා ගැනීම - විද්‍යුත් තැපෑලෙනි